Monday, 09 June 2025

පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක්

Posted On Monday, 09 June 2025 06:57

පොසොන් සමයේ අනුරාධපුර පූජා නගරය අවට විශේෂ රථවාහන සැලැස්මක්

 

පොසොන් උත්සවය සඳහා බැතිමතුන් වැඩි පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන කලාප 06 වශයෙන් පොලිස් නිලධාරීන් 3500 කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරි සඳහා යොදවා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් අවශ්‍ය අවස්ථාවලදී සහය ලබාගැනීමට පොරොත්තු සේවා රාජකාරියේ යොදවා ඇත.
පොසොන් උත්සව සමයේදී, බොහෝ දෙනෙකුගේ වැඩි අවධානය යොමුවන්නේ ඓතිහාසික අනුරාධපුර නගරය වෙත වන අතර මිහින්තලා පූජා භූමිය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන ප්‍රදේශය, තන්තිරිමලය රජමහා විහාරය, අවුකන, විජිතපුර හා නාමල් උයන යන ප්‍රදේශ පිලිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

පූජා භූමියට මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඹ්නෑම හදිසි අවස්ථාවකදී 025 - 2222124 දරණ පොලිස් මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකයට දැනුම්දිය හැකිබව පොලීසිය සඳහන් කරයි.