Thursday, 28 March 2024

රැකියා වියුක්ති අනුපාතය නිකුත් කෙරේ

Posted On Monday, 13 March 2017 08:20

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රැකියා නියුක්තිය, රැකියා වියුක්තිය හා ශ්‍රමබලකාය වැනි සංඛ්‍යාති රැසක උපනතිය පිළිබඳ කාලීන දත්ත ඉදිරිපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ශ්‍රමබල  සමීක්ෂණය පවත්වනු ලබයි.


මෙම සමීක්ෂණය 1990 වසරේ සිට කාර්තුමය පදනමක් යටතේ වාර්ෂිකව පවත්වාගෙන යනු ලබයි. 2016 වර්ෂයේදී පැවැත්වූයේ එම සමීක්ෂණ මාලාවේ 36 වැන්නයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවාස ඒකක 6440ක නියැදියක් භාවිතයෙන් 2016 වසරේ තුන්වන කාර්තුව සඳහා ශ්‍රමබල සංඛ්‍යාති නිකුත් කර ඇත. එම කාර්තුවේ ක්ෂේත්‍ර  කටයුතු 2016 ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස වල මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකර ඇත.

වයස අවු. 15 හා ඊට වැඩි ජනගහනය ශ්‍රී ලංකාවේ වැඩ කරන වයසේ පසුවන ජනගහනය ලෙස සලකයි. වැඩකරන වයසේ ජනගහනය අතරින් සලකනු ලබන යොමු කාලය තුළ රැකියා නියුතු හෝ රැකියා විරහිත මුළු ජනගහනය ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහනය හෙවත් ශ්‍රමබලකාය වේ. 2016 තුන්වන කාර්තුවට අනුව ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත ආර්ථික වශයෙන් ක්‍රියාශීලි  ජනගහනය මිලියන 8.4ක් පමණ වේ.  ඉන් 63.5ක ප්‍රතිශතයක් පිරිමි ජනගහනය වන අතර 36.5ක ප්‍රතිශතය ගැහුණු ජනගහනය වේ.

වැඩ කරන වයසේ පසුවන ජනගහනය අතරින් ආර්ථික වශයෙන් ක්‍රියාශිලි ජනගහනය ශ්‍රමබලකාය ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රමබලකායාට අයත් වන පුද්ගලයින් සංඛ්‍යාව වැඩකරන වයසේ ජනගහනයයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රමබල සහභාගිත්වතා අනුපාත ලෙස හදුන්වනු ලබයි (LFPR). 2016 තුන්වන කාර්තුවට අදාළ සමික්ෂණ ප්‍රතිඵල වලට අනුව සමස්ත ශ්‍රමබල සහභාගිත්වතා අනුපාතය 53.8 ක් වන අතර පුරුෂයින් හා ස්ත්‍රින් සඳහා ශ්‍රමබල සහභාගිත්වතා අනුපාත පිළිවෙළින් 75.0% හා 36.1% වේ.

පුද්ගලයෙකු අදාළ යොමු කාලය තුළ අඩුම තරමින් පැයක්වත් වැටුප් ලබන සේවකයෙකු, සේවායෝජකයෙකු, තමාගේ වැඩ කටයුතු කරන්නෙකු හෝ පවුලේ ආර්ථිකයට දායකවන්නෙකු ලෙස කිසියම් වැඩක නිරත්වුයේ නම් එම පුද්ගලයා රැකියා නියුතු පුද්ගලයෙකු ලෙස නම් කරයි. මෙම කාර්තුව සදහා ඇස්තමේන්තුගත රැකියා නියුක්තිකයින් ප්‍රමාණය මිලියන 8.0 ක් වේ. ඒ අතුරින් 46.1%ක් සේවා අංශයේ ද 27.1 % කෘෂිකර්මික අංශයේ ද 26.8% කර්මාන්ත  අංශයේද නිරත වී ඇත. ඉහලම  සේවා නියුක්තියක්  සේවා  අංශයේ  දක්නට  ලැබෙන අතර  ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂවයටම එම රටාව දක්නට ලැබේ. තවද රැකියා නියුක්තියෙන් 68.0% ප්‍රතිශතයක් සතියකට පැය 40 කට වඩා වැඩ කර ඇති බව වාර්තා වී ඇත.

අදාල යොමු කාලය තුල රැකියාවක් නොමැති පෙර සති 4 තුළ රැකියාවක් සොයමින් සිටින, රැකියාවක් සෙවිමට කිසියම් ක්‍රියා මාර්ගයක් හා ඉදිරි සති 2 තුළ රැකියාවක් ලැබුණ හොත් එය කිරිමට හැකියාව ඇති පුද්ගලයින් රැකියා විරහිත පුද්ගලයින් සේ සලකනු ලබයි. මුළු රැකියා විරහිත පුද්ගලයින් ප්‍රමාණය, ශ්‍රමබලකායේ ප්‍රතිශතයක් ලෙස ගත්විට විරැකියා අනුපාතය ලෙස හදුන්වනු ලබයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. ජේ. සතරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ 2016 තුන්වන කාර්තුවේදි ඇස්තමේන්තුගත රැකියා වියුක්ති අනුපාතය 4.5% වන බව යි.