Thursday, 18 April 2024

ළමා අපයෝජන වැළැක්වීමට නව වැඩපිළිවෙළක්

Posted On Friday, 15 September 2017 04:44

තොරතුරු සමාජ ගත කළ හැකි ප්‍රමුඛතම මාධ්‍යයක් වන වීදි නාට්‍ය මඟින් ජනතාව දැනුවත් කරමින් වත්මන් සමාජයේ බහුලව සිදු වන ළමා අපයෝජයන් වැළැක්වීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.


බොහෝ රටවල ජනතාව දැනුවත් කිරීමට යොදා ගන්නා මෙම කලාව භාවිතය මඟින් සාම්ප්‍රදායික දේශන කලාවෙන් මිදී ළමා අපයෝජන වැළැක්වීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය විසින් රචිත “බින්දු, රාණිට යාළුවෙක්” යන ග්‍රන්ථය ආශ්‍රය කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම වීදි නාට්‍ය  නීතිය නීති පොතට පමණක් සීමා නොවී ඒ පිළිබඳව ජනතාවට අවබෝධය ලබා දීමට මඟ පෙන්වයි.

මේ වනවිට යාපනය, වව්නියාව, කිළිනොච්චිය, අනුරාධපුරය, මහනුවර හා කොළඹ යන දිස්ත්‍රියන්හි  “බින්දු, රාණිට යාළුවෙක්” යන නමින් මෙම වීදි නාට්‍ය  ප්‍රදර්ශනය කර ඇත. ඉදිරියේ දී දිවයින පුරාම මෙය ප්‍රදර්ශනය කරමින් ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම සමාජගත කිරීමට කටයුතු කරනු ලබන බව ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසයි.