Thursday, 18 April 2024

සයිටම් ආයතනය පිළිබඳව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් – ජනපති

Posted On Tuesday, 24 October 2017 06:35

සයිටම් ආයතනය පිළිබඳ ව රජයේ ස්ථාවරය තව දින කිහිපයකින් ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
 


සියලු අභියෝගවලට සහ ගැටලුකාරී තත්ත්වයන්ට සාකච්ඡාවෙන්, සංවාදයෙන් සහ කරුණු බෙදා හදා ගැනීමෙන් විසඳුම් ලබාගත හැකි බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ දෙහිඕවිට, තිඹිරිපල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනව රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
 
බෙදීම සහ වෙන්වීම යහපත් රටක් ගොඩනැගීමට බාධාවක් වන අතර රටේ මතුවන ගැටලුවලදී මෙන්ම සංවර්ධන කාර්යයේදී ද බෙදීමෙන් සහ වෙන්වීමෙන් තොරව සියලු දෙනා සාමූහිකව එක්ව එම ගැටලු විසඳාගත යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.
 
2018 වසර රට දිළිඳුභාවයෙන් නිදහස් කර ගැනීම සඳහා ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කර තිබෙන අතර, ග‍්‍රාමීය ජනතාව දිළිඳුභාවයෙන් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩනැංවීමට මෙන්ම රටේ සමෘද්ධිය ද ඇති කිරීම සඳහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය පසුගියදා ආරම්භ කළ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම සංවර්ධන කාර්යයන් සමග අත්වැල් බැඳ ගනිමින් ගම මෙන්ම රට ද සංවර්ධනය කිරීමට බෙදීමෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ප‍්‍රකාශ කළේය.