Friday, 29 March 2024

වනාන්තර විනාශ කරන්නන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරනවා - ජනපති

Posted On Wednesday, 25 October 2017 06:10

වනාන්තර සහ කැලෑ විනාශ කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රටේ වන සම්පත රැක ගැනීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමුකර කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය ප‍්‍රමාදයකින් තොරව කටයුතු කරන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
 


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (24) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය අමතමිනි.
 
“Forestry in a New Landscape”  යන තේමාව යටතේ ආසියා ශාන්තිකර වනාන්තර කොමිසමේ 27 වන සැසිවාරය ඊයේ ආරම්භ කෙරුණු අතර එය 27දා දක්වා පැවැත්වේ.
 
වනාන්තර කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම, කලාපීය වනාන්තර සහ භූ දර්ශනය ප‍්‍රතිස්ථාපනය කිරීමේ ක‍්‍රමෝපායන් අනුමත කර ගැනීම, නාගරික භූ දර්ශනය තුළ ශාකවල පැවැත්ම, ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සඳහා වනාන්තරවල දායකත්වය, ප‍්‍රජා වන කළමනාකරණ නව ප‍්‍රවේශය, 2020 වසරේදී වන සම්පත තක්සේරුව වැනි මාතෘකා මෙහිදී සාකච්ඡාවට බඳුන් වෙයි.
 
ආසියා ශාන්තිකර වනාන්තර පිළිබඳ කොමිසමෙහි සාමාජික රටවල් 34 ක නියෝජිතයින් හා විවිධ මට්ටමේ නිරීක්ෂණ ආයතනවල නියෝජිතයින් 300ක පමණ පිරිසක් මෙම සැසියට එක්ව සිටී.
 
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පරිසරය රැක ගැනීම වෙනුවෙන් පැරිස් සමුළුවේ එකඟතාවයන් ඇතුළු ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් නිසි ලෙස ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා රජය කැපවී සිටින අතර ජාතික වශයෙන් ද ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවයි.
 
ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින් ලෝකයේ රටවලට ආර්ථික ආධාර සැපයීමේ දී සිය රටවල වන ඝනත්වය වර්ධනය කිරීමට සහ පරිසරය රැක ගැනීමට කැපවී සිටින රටවල් සඳහා වැඩි සහයෝගයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ජාත්‍යන්තරව ක්‍රියාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කරනු ලැබීය. ඒ තුළින් පරිසරය රැක ගැනීම සඳහා එම රටවල් උනන්දු කරවීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
 
කිසිදු කාලයක නොවූ අන්දමකින් අද ලෝකයේ සෑම රටක්ම ඉතා බරපතළ ලෙස කාලගුණික සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දී තිබෙන අතර, ලොව පුරා සිදුවන පරිසර විනාශය හේතුවෙන් මිනිසා ප‍්‍රමුඛ සියලු සතුන්ගේ පැවැත්මට අද පරිසරය අභියෝගයක් වී තිබෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
 
පරිසර සංරක්ෂණ හා වනාන්තරවල ආරක්ෂාව පිළිබඳ ගෙනයන වැඩසටහන්වලදී විද්වතුන්, පර්යේෂකයින් ඇතුළු සියලුදෙනාගේ මගපෙන්වීම ඉතා වැදගත් බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණයට අදාළව කටයුතු කරන රාජ්‍ය ආයතනවලට විශේෂ පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කළේය.
 
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ද එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වනාන්තර අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් හිරෝටෝ මිට්සුගී, ජාත්‍යන්තර කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ කවුන්සිලයේ සභාපති ටෝනි සයිමන් යන මහත්වරුන් ඇතුළු විදෙස් නියෝජිතයින් ද වන සංරක්ෂණ ජනරාල් එස්.ඒ. අනුර සතුරුසිංහ මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.