Friday, 19 April 2024

කළුතර මහ රෝහලටත් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්

Posted On Thursday, 10 May 2018 06:41

නිදහස් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිලාභ ජනතාව වෙත ළඟා කිරීමේ අරමුණ ඇතිව රුපියල් මිලියන 800 ක වියදමින් කළුතර මහ රෝහලේ ඉදිකරන ලද හදිසි අනතුරු ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 3.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.


දිවයින පුරා ප්‍රධාන රෝහල් 24 ක හදිසි අනතුරු ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක ඉදිකෙරෙමින් පවතී. කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වී තිබූ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.

කළුතර මහ රෝහල අංග සම්පුර්ණ මහ රෝහලක් බවට පත් කිරීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සුදානමින් සිටි.

මෙම රෝහලේ මහල් 08 කින් යුත් නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, නව පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම, නව අක්ෂි වාට්ටු සංකීර්ණය ඉදිකිරිම ඇතුලු සංවර්ධන ව්‍යාපෘති රැසක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත ආරම්භ කර ඇත.

තව ද කළුතර ගල්අස්ස ප්‍රදේශයේ නව මාතෘ හා ළමා රෝහලක් නෙදර්ලන්ත ආධාර මත ඉදිකිරීමට පියවර ගෙන ඇත. මෙම රෝහලේ සංවර්ධන කටයුතු සදහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 12500 කි.