Saturday, 20 April 2024

බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයක්

Posted On Friday, 18 May 2018 07:38

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹපළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව  ජනතාවගෙන්  ඉල්ලා සිටි.