Monday, 09 June 2025

පොහොසත් පොසොන් පොහොය අගයෙන් සමරමු Featured

Posted On Monday, 09 June 2025 06:51

පොහොසත් පොසොන් පොහොය අගයෙන් සමරමු

 

සෑම වසරකම උත්සව ශ්‍රි යෙන් සමරනු ලබන පොසොන් පොහොය ඔස්සේ ලද හැකි අර්ථානිශංස අපමණය . මිහින්තලා පුදබිම , අනුරාධපුර අථමස්ථානය හා තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කරගෙන සුපුරුදු පරිදි පොසොන් පිංකම මෙවර සමරනු ලබන්නේ 2333වන වරට යි . ‍‍‍‍‍

දහම හරහා ස්වයං විනය ඇතිකර ගැනිමේ විලාසය මෙරටට අසමසම ලෙස හදුන්වා දෙන්නට සමත් වු උත්තම සම්ප්‍රප්තිය වුයේ මිහිදු හිමියන් ඇතුළු පිරිස මෙරටට වැඩම කිරීම බව සියවස් ගණනාවක් මුළුල්ලේ ලක්ෂ සංඛ්‍යාත වු පිරිසගේ මුවග රැව් දෙන වදනකි . එමෙන්ම එය දහස් සංඛ්‍යාත වු පොත් පත් හි ලේඛනගතව පවතී. ඒ නිසාම පොසොන් පොහොයෙන්, ඒ හා බැදුණු අධ්‍යාත්ම පෝෂණය පිළිබදව වෙන කවරදාටත් වඩා වර්තමානයේ දි සිහිපත් මනසින් කල්පනා කර කටයුතු කිරීම සමාජ වටිනාකම උත්සන්න කිරීමට හේතු වේ.

පොසොන් පොහොය සංවිධාන කිරීමේ කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමේ දී අටමස්ථානාධිපති ආචාර්ය පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සෑම වසරකම මතක් කර දෙන්නේ අධ්‍යාත්මයෙන් ගිලිහුනු හා සැණකෙළි ස්වරූප ගන්නා අන්දමින් මෙම සැමරුම නොකළ යුතු බවයි . වැරදි නිවැරදි කර ගැනිමට පරිසරය සකසන උත්තම පොසොන් දින උත්සවයක් මත්තේ අනේක විද අධර්මිෂ්ඨතා උපදින්නේ නම් එවන් උත්සවයකින් බලාපොරොත්තු වන උත්තම ගුණාංග ගිලිහි යයි. එවැනි දේට ඉඩ නොතබා පොසොන් සදෙහි කාන්තිය බදුව සිත් පැහැපත් කර ගැනීමයි, කළ යුතු වන්නේ.

1865තරම් ඈත කාලයක අනුරාධපුරයේ පැවති පොසොන් සැමරුම පිළිබදව එවක අනුරාධපුර පාලනය කළ සුදු ඒජන්තවරයෙකු බ්‍රිතාන්‍ය රජයට ලිඛිතව වාර්තා කර ඇත්තේ, මෙරට ජනතාව තුළ ඉතා වටිනා අධ්‍යාත්ම ගුණ වගාවක් , ස්වයං විනයක් පැවැති බව යි. එවක වන්දනාවේ පැමිණි 25000 ක පමණ පිරිස දින ගණනාවක් පුජා භූමි තුළ රැදී සිටියත් එම ප්‍රදේශවල කිසිදු අපවිත්‍රතාවක් සිදුකර නොමැති බවත් , පිරිස හැසිරවිමට කිසිදු පොලිස් නිළධාරියකු යොදා ගැනිමට අවශ්‍ය නොවු බවත් එම සුදු ඒජන්තවරයා සිය වාර්තාව තුළ සදහන් කර තිබේ. ඒ බුදු දහම තුළින් මෙරට ජනයාගේ මනස තුළ වැඩී තිබු අධ්‍යාත්මයේ ප්‍රතිථලය යි . ඔවුන් ඉපැරණි පුජා ස්ථාන පමණක් නොව පරිසරයට ද වන්දනිය ලෙස සලකා තිබේ.

අගනා අතීතය පිරික්සා බලන කවරෙකුට වුවද පොසොන් පොහොයේ අගය පසක් කරගත හැකි යි. ස්වයං විනය ගිලිහිම තුළ සංස්කෘතිය හෙවත් මිනිස් ගුණ සහිත හැසිරිම , මිය යන්නේය. වර්තමානයේ අපට නිතර අසන්නට ලැබෙන්නේ අසම්මත ලෙස නොමිනිස් කම් මතුව ආ ක්‍රියාවන් දාමයකි . එයින් දිගින් දිගටම මතුවන්නේ සමාජ බිද වැටිමේ මාවතකි. ධනාත්මක මානයන් හීන වීමේ මුහුණුවරකි.

අසිරිමත් පොසොන් දිනය අතීතයේ දී දඩ කෙළිය වැනි පාපකාරි ක්‍රියාවලද නිරත වු බව මිහිදු හිමියන් ලංකාවට වැඩම කළ දිනයේ දෙවන පෑතිස් රජ දඩ කෙලියේ නිරතව සිටීමෙන් පැහැදිලි වේ . එලෙස මෙරට පැවති අපිළිවෙළ ජීවන රටාව නිසි වු මානුෂිය මාවතකට පැමිණියේ බුදු දහම මෙරටට දායාද වීම හේතුවෙන්. ඒ නිසාම වර්තමානයේ දී ත් , අපි එම උත්තරිතර දිනය සැමරිය යුත්තේ බුදු දහමේ අභිමානය රැකෙන පරිදි බව කුඩා දරුවාගේ සිට මහලු වියට පැමිණි පිරිස් දක්වා සියලු දෙනා දත මනාය.

අමිහිරි විපාක ගැන බිදකුත් නොදන්නා ජනී ජනයා තමා වෙනුවෙන්ම පමණක් අසීමිතව වෙහෙසෙද්දි තමන්ගෙන් තවකෙකුට කිසියම් හානියක් සිදුවේදැයි කිසිවිටෙක නොසිතන මානසිකත්වයකින් ජීවත් වේ. සොරකම, වංචාව , දුෂණය , පහරදීම් ,ඝාතන ආදී සියලු දේ වර්ධනය වන්නේ ඒ හේතුවෙන්. මේ තත්වයන් අසීමිතව අසන්නට දකින්නට ලැබෙන අවාසනාවන්ත කාලයක් අපි ගෙවමින් සිටිමු . සහජිවනය , මනා සහවේදනය මිනිසුන් තුළින් මෙතරම් ගිලිහෙන්නේ , උතුම් දහමක් පවතින රටක් තුළ යි. එම දහම මත්තේ සිතමින් මහත් පරිශ්‍රමයකින් සංවිධාන කෙරෙන පොසොන් උත්සවය සැමරිය යුත්තේ අධ්‍යත්මය වපුරන්නට අවශ්‍ය සුදානම ළඟා කර ගැනිමට බව කොයි කෙනා වුවද සිතුවමනා ය.

සැම වර්ෂයකම ලක්ෂපහලොව ඉක්ම වු බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණෙන්නේ පොසොන් වන්දනාව වෙනුවෙනු යි. එකී ජනතාවගේ පහසුව උදෙසා රාජ්‍ය නිලධාරීන් , ස්වේච්ඡා සංවිධාන ආදිය එක් ව සිදු කළ යුතු කාර්යයන් රාශියක් පවතී . පුජා ස්ථාන පවිත්‍රකිරීම්, ජල විදුලි පහසුකම් , කසල බැහැර කිරිමේ ක්‍රමවේද සදහා සැලසුම්, ප්‍රවාහන පහසුකම් , සෞඛ්‍ය පහසුකම් , දන්සල් සංව්ධානය , මාර්ග අලුත්වැඩියාව , ආගමික වැඩසටහන් සංවිධානය ආදි බොහෝ කාර්යයන් සදහා සිදු කරන කැප කිරීම අපමණය. ඒ සදහා රජයක් වශයෙන් ද අති විශාල මුදල් සම්භාරයක් වියදම් කිරිමට ද සිදු වේ.

මේ සියල්ලක්ම සිදු කරන්නේ කුමක් වෙනුවෙන් ද ? රටෙහි සතර අතින් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සදහා යි. ඒ සියල්ලෙහි අරමුණ වන්නේ උත්තම පොසොන් පොහොය සැමරිම පමණක්ම නොවේ . අධ්‍යාත්මයෙන් පිරුණු රට වැසියන් පිරිසක් නිර්මාණය කිරිමට දැහැමි පිළිවෙත් ඔබට ආරෝපණය කිරිම සදහා යි.

ඒ නිසාම පොසොන් වන්දනාවේ පැමිණෙන ඔබ මෙම මහා ආනිසංස පිංකමට නිගරු වන ලෙස හැසිරිමට බිදක් හෝ නොසිතිය යුතුයි. බුදු දහමේ සුරක්ෂාව උදෙසාත් , රටෙහි නිවැරදි අභිවෘද්ධිය උදෙසාත් අදාල වන්නේ තම තමන්ගේ නිවැරදි ක්‍රියා බව සිහිපත් කර ගැනිමයි, අගනා වන්නේ. සුදුසු පරිදි නිවැරදි ක්‍රියාකරන්නේ කෙසේ දැයි, තනි තනිව පිරිසිදු මනසකින් සිතන්නේ නම් අපට සාර්ථක කරගත හැක්කේ පොසොන් පිංකම පමණක්ම නොවේ. මෙරට ආර්ථික ,සංස්කෘතික , පාරිසරික , ආදී සෑම අංශයකින් උසස් රටක් බවට ඔසවා තැබිය හැකියි. ‘’ අනු බුදු දහමින් ලොවම නිවේ වා’’ යන මෙවර පොසොන් උත්සවයේ තේමාව පෙර දැරිව උතුම් පිංකමක් ලෙස එය සැමරිමට කාටත් සිත් පහළ වේවා!

ෂෙල්ටන් බණ්ඩාර

දිස්ත්‍රික් මාධ්‍ය කාර්යභාර නිලධාරී

අනුරාධපුරය

Read 0 times