Wednesday, 24 April 2024

ශ්‍රීලනිප කරන්දෙණිය සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි

Posted On Friday, 30 December 2016 09:27

වසර තිහකට අධික කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි මහින්ද රාජපක්ෂ රජයේ හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කරන්දෙණිය ආසනයේ ප්‍රධාන සංවිධායක එම්. එච්. ගුණරත්න වීරකෝන් මහතා සිය ධුරයෙන් ඉවත්වන බව පැවැසීය. සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අකාරුණික ක්‍රියාකලාපය නිසා තමන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත් වූ බව ඒ මහතා කීය.

1991 වසරේදී දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය මාව කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත් කළා. එදා සිට ‍දීර්ඝ කාලයක් වසර විස්සක් පමණ එම තනතුර දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මගේ යුතුකම සහ වගකීම හරියට ඉෂ්ට කළා.

නමුත් පසුගිය කාලය තුළ විශාල හිත්රිදීම්වලට මම භාජනය වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා හැටියට කරන්දෙණිය කොට්ඨාස සංවිධායකවරයා හැටියට මං පක්ෂය බලාපොරොත්තු වන යුතුකම සහ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්න පුළුවන් මානසික තත්ත්වයක් මට නැහැ. ඒ නිසා මම තීරණයක් ගත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලිපියක් යැව්වා මම කරන්දෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයෙන් ඉවත්වෙනවා කියලා. එහි පිටපතක් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක ඇමැතිතුමාටත් යැව්වා.

ඇල්පිටිය විශේෂ - ඩී. ජේ. විජේසිංහ

Read 1511 times Last modified on Friday, 30 December 2016 09:29