Friday, 29 March 2024

ජපානය අත්හදා බැලූ ගුවන් කාර් රථය (skydrive)

Posted On Monday, 31 August 2020 04:30 Written by
Rate this item
(0 votes)

 

ජපන් මෝටර් රථ දැවැන්තයා වන ටොයෝටා සමාගම පියාඹන මෝටර් රථයක් අද සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ස්කයි ඩ්‍රයිව් (Sky Drive) යනුවෙන් හඳුන්වන මෙම පියාඹන මෝටර් රථය ටෝකියෝ හිදී අද ගුවන් ගත කළේ 2023 වසර වනවිට සම්පුර්ණයෙන් එය ටැක්සි රථයක් ලෙස වෙළඳ පළට හඳුන්වා දීමේ අටියෙන්. අද ගුවන් ගතකල ආදර්ශ මොඩලය හඳුන්වන්නේ SD -03 යන නමින්.

මුලින් ඇමෙරිකා ජපන් ඒකාබද්ධ ව්‍යාපෘතියක් වූ මෙම ගුවන් කාර් වැඩ පිළිවෙල සාර්ථකව යම් යම් අවස්ථාවල අත්හදා බැලීම් වලට ලක් කර තිබුනද එම ව්‍යාපෘතියේ වීඩියෝවක් සමාජ ගත කර ඇත්තේ අද ( 29 සිකුරාදා). ඒ ජපානයේ ටොයෝටා සිටි නම් කලාපයේ දී.

තනි පුද්ගලයෙකුට පමණක් ගමන් කල හැකි මෙම ගුවන් මෝටර් කාරය පොළෝ මට්ටමින් අඩි හයක් හතක් පමණ උසකින් ඉහල අහසේ විනාඩි පහක් පමණ දැලින් වටකළ නිශ්චිත අත්හදා බැලීමේ කලාපයක ගමන් කර තිබෙනවා. වැදගත් වන්නේ මේ පියාසර කිරීම සිදුකර ඇත්තේ එක් ගුවන් කාර් නියමුවෙක් ද සහිතව වීමයි.

මේ වනාහි ස්කයි ඩ්‍රයිව් සමාගමේ මුල්ම ගුවන් මෝටර් කාර් අත්හදා බැලීම වන අතර මේ සඳහා පුර්ණ දායකත්වය සපයා ඇත්තේ ටොයෝටා සමාගම. මේ අත්හදා බැලීම 2023 වනවිට අසුන් සහිත වාණිජ කාර් රථයක් මට්ටමට ගෙන ඒමට ටොයෝටා ඔටෝ මොබයිල් සමාගම දැන් සුදානම් වෙනවා.

අධික වාහන තදබදයක් සහිත ටෝකියෝ සහ ඕසකා යන නගර සඳහා ටැක්සි රථයක් ලෙස ඔවුන් මෙය මුලින් ම හඳුන්වා දෙනු ඇති. දැනට මේ රථයට ගමන් කල හැක්කේ ඉතාම අඩු වේගයක් යටතේ විනාඩි දහයක් පමණයි. නමුත් ඊළඟ පියවරේ දී ඔවුන් පැයට කිලෝ මීටර් 40ත් 60ත් අතර වේගයක් කරා ගමන් කරනු ඇති බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටොමොහීරෝ ෆුකුසාවා (Tomohiro Fukuzawa) මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඔහුගේ බලාපොරොත්තුව වන්නේ අධික වාහන තදබදයන් ඇති ලෝකයේ අනෙක් නගර සඳහාත් මේ රථය හඳුන්වා දීමට. 'මේ වර්ගයේ ගුවන් කාර් අත්හදා බැලීම් සියයක් පමණ මේ මොහොතේ පවා ලෝකයේ සෑම තැනම සිදු වෙමින් පැවතුනත් මිනිසෙක් සහිතව ගුවන් මෝටර් රථයක් සාර්ථකව ගුවන්ගත කළේ අපි' යනුවෙන් ඔහු එක්සත් පුවත්පත් (AP) සඳහා අද පැවසුවා.

මේ සාර්ථක අත්හදා බැලීම සමග මිනිසුන් මෙවන් රථයක ආරක්ෂාකාරීව ගමන් කිරීමට කැමති වනු ඇති යන්න ෆුකුසාවා ගේ මතයයි.

ලම්බාකාරව නැත්නම් සිරස් අතට ඉහළට නැංවිය හැකි සහ ගමන් කළ හැකි (vertical take off and landing - VTOL) මේ රථය ගුවන් යානයකින් සහ හෙලිකොප්ටරයකින් වෙනස් වන්නේ ගුවන් ගත කිරීම සහ ගොඩබෑම සඳහා වෙනම ගුවන් තොටුපළක් අවශ්‍ය නොවීම නිසයි. ගුවනින් මෙන්ම මහපාරේ ද දොරින් දොරට ගමන් කල හැකි මේ විශ්ම කර්ම වාහනය දිගින් මීටර් හතරක් සහ උසින් මීටර් දෙකක් වන අතර මෙය නගර ප්‍රවාහනය සඳහා ඉතාම යෝග්‍ය බවට ස්කයි ඩ්‍රයිව් සමාගමේ මත පළ කරනවා.

කෙසේ වුවද යටිතල පහසුකම් සහ ආරක්ෂාව පිළිබද කරුණු මත බොහෝ රටවල් මේ නව නිර්මාණය දෙස සැක සංකා සහිතව බලනු ඇති. එක්සත් ජනපදයේ පවා මෙවන් ව්‍යාපෘති කිහිපයක් අත්හදා බලමින් පැවතුනද ඒ සඳහා පුර්ණ අනුමැතිය තවමත් හිමිවී නැහැ.

කෙසේ වුවද ටොයෝටා අනුබද්ධ ස්කයි ඩ්‍රයිව් සමාගමේ මේ ව්‍යාපෘතිය ලොව මිනිස් රියදුරෙක් සහිතව ගුවන් ගතකළ ප්‍රථම මෝටර් රථය බවට ඉතිහාස ගත වනු ඇති.

 

 

Read 2310 times